ඇත්තම කතාව තමයි,
ඔයා කෙනෙක්ව ගැඹුරින් අඳුරගන්න ප්රමාණෙ වැඩි වෙන්න වෙන්න, ඔයාට එයාගෙ අඩුපාඩු වැඩියෙන් පේන්න ගන්නවා. බය හිතෙන තරමටම ඒ අඩුපාඩු පේන්න පටන් ගන්නවා. ඒ නිසා තමා කසාඳ ජීවිත මේ තරම් අසමත් වෙන්නෙ. දරුවන්ව ඔහේ අත ඇරලා දාන්නෙ. යාළුකම් ඉක්මනින් අවසන් වෙලා යන්නෙ.
සමහර වෙලාවට අපි හිතනවා අපි කෙනෙක්ව හොඳට අඳුරනවා කියලා. ඒත් එයාගෙ අතේ සල්ලි නැති වෙලාවක, එහෙම නැත්තම් එයා විශාල පීඩනේකින් ඉන්න වෙලාවක, හෝ එහෙමත් නැත්නම් එයා බඩගිනි වෙලා ඉන්න වෙලාවක හැසිරෙන විදිහ දැක්කම අපිට ඇත්ත තේරෙන්න පටන් ගන්නවා. දෙයියනේ කියලා හිතෙන්න පටන් ගන්නවා.

ආදරේ කියන්නෙ වෙනස් දෙයක්. ආදරේ කියන්නෙ කෙනෙක්ගෙ අමන, නරුම, සවුත්තු හදවත ඇස් පනාපිට පෙනෙද්දිත්, එයා එක්ක, එයාගෙ එහා පැත්තෙන් හිටගන්න ගන්න තීරණයක්.
ආදරේ ඉවසිලිවන්තයි...
ආදරේ කරුණාවන්තයි...
ආදරේ කලබල නැහැ. විචාරශීලියි...
ආදරේ හරිම අපහසු දෙයක්...
ආදරේ කියන්නෙ වේදනාවක්...කැපකිරීමක්...
ඒ නිසයි මම කියන්නෙ, ආදරේ කියන්නෙ මගේ අනෙකා ඇතුළෙ තියෙන අඳුර දැක්කම නැවෙන් මුහුදට පැනලා ගොඩට පීනන්න හිතට එන ආවේගය එක්ක සටන් කිරීමක් කියලා.
අපි හැමෝගෙම ඇතුළෙ අඳුරක් තියෙනවා. ළං වෙන්න වෙන්න ඒක පැහැදිළිව පේන්න පටන් ගන්නවා. ඒ වෙලාවට දාලා දුවන්න හිතෙන හැඟීම එක්ක සටන් කරන්න අපි තීරණය කරාට පස්සෙ, අර අජූත හදවත යහපත් එකක් කරන්න යනවා වෙනුවට එයා ඉන්න විදිහට එයාට ආදරේ කරන්න අපි උත්සහ කරන්න පටන් ගන්නවා. අන්න එතකොට අපිට අපිව ආයේ මුණගැහෙනවා!
Tags:
Love